තට්ටය පෑදීම වළකන ස්වභාවික පිළියම් 15 ක්

තට්ටය පෑදීම විවිධාකාරයෙන් සිදු වෙනවා. ඇතැම් පුද්ගලයින්ගේ වට හිසකෙස් පමණක් ඉතිරි වී හිස් මුදුනේ හිසකෙස් ගැලවී තට්ටය පෑදෙනවා. ඇතැම් පුද්ගලයින්ගේ සම්පූර්ණයෙන්ම හිසකෙස් ගැලවී තට්ටය පෑදෙනවා. ඒ වගේම, සමහර පුද්ගලයින්ගේ හිසකෙස් වර්ධනය වීම සිදු වෙන්නේ ඉතාමත් සෙමින්. ලොවපුරා සිටින පිරිමි පුද්ගලයින්ගෙන් 70% පමණ ප්‍රතිශතයක් තට්ටය පෑදීම නිසා පීඩා විඳිනවා. පිරිමි පුද්ගලයින්ගේ තට්ටය පෑදීමට ප්‍රධාන වශයෙන්ම මුල් වෙන්න ජානමය තත්වයනුත් සහ ලිංගික හොමොන වල සිදු වන වෙනස්කම්. තට්ටය පෑදීම වළක්වා හිසකෙස් සවිමත්ව නැවත වර්ධනය කර දෙන ස්වභාවික සත්කාර කිහිපයක් අද අපි ඔබට ගෙනවිත් තිබෙනවා.

01. පොල් කිරි සහ තෙල්
ඔබත් තට්ටය පෑදීම නිසා පීඩා විඳින අයෙක් නම් ඔබට භාවිතා කරන්නට පුළුවන් හොඳම ස්වභාවික සත්කාර වලින් එකක් තමයි පොල් කිරි දිනපතා ඔබේ හිසේ සමෙහි ආලේප කිරීම. පළමුව පොල් කිරි මිලිලීටර 20 ක් සමග අම්ලා තෙල් මිලිලීටර 10 සහ ලෙමන් යුෂ තේ හැන්ඳක් හෝ දෙකක් එක්කර මිශ්‍රණයක් සකස් කර ගන්න. මෙම මිශ්‍රණය හිස් කබල පුරාම හොදින් ආලේප කර සුළු වෙලාවක් සිටින්න. ඊළඟට විනාඩි විස්සකට විතර පසු මේ ආලේපනය හිසෙන් සෝදා ඉවත් කර හිස හොඳින් පිරිසිදු කරගන්න. මේ ස්වභාවික සත්කාරය මගින් හිස්හොරි පවා සුව කර තට්ටය පැදීම වළක්වා ගන්නට පුළුවන්. මේ පොල් කිරි සත්කාරය ඔබේ හිසට දිනපතා සිදු කරන්න.

02. ඔබ භාවිතා කරන තෙල් වර්ගයක් ආලේප කර දින පතා හිස සම්භාහනය කරන්න
ඔබ භාවිතා කරන ඕනෑම තෙල් වර්ගයක්, උදාහරණයක් විදිහට පොල් තෙල්, ඔලිව් තෙල්, ආමන්ඩ් තෙල් වගේ ඕනෑම තෙල් වර්ගයක් රැගෙන හිස ඇල්මැරුණු ජලයෙන් සෝදා ඔබ සපයා ගත් තෙල් ආලේප කර හොදින් සම්භාහනය කරන්න. මේ සත්කාර ක්‍රමයෙන් ඔබට පුළුවන් වේවි හිස්හොරි ඇති වීමත් වළක්වා කේශ මූල වලට නිසි පෝෂණය ලබා ගන්න. ප්‍රථමයෙන්ම ඔබ භාවිතා කරන තෙල් වර්ගය අල්ලට රැගෙන හොදින් හිසෙ හි සමේ සහ හිසකෙස් පුරාවටම ආලේප කරන්න. දැන් ඔබේ හිස විනාඩි දහයක් පමණ හොදින් සම්භාහනය කර විනාඩි පහළොවක කාලයක් විවේකීව සිට ෂැම්පු හෝ මෘදු සබන් භාවිතාකර හිස හොඳින් සෝදන්න. තට්ටය පෑදීම වලක්වා ගන්න නම් මේ සත්කාර ක්‍රමය දිනකට හතර වතාව බැගින් දිනපතාම සිදු කරන්න. ඒ වගේම, ඔබට පුළුවන් පොල්තෙල් හෝ අම්ලා තෙල් ඔබ නිදන්නට පෙර හිසේ ආලේප කර හිස්කබලට සිදුවන රුධිර සංසරණය වේගවත් කර මානසික ආතතිය පවා ලේසියෙන්ම අඩු කරගන්නට.

03. උළුහාල් ඇට සහ තෙල්
උළුහාල් ඇට කිහිපයක් සමග පොල්තෙල් ස්වල්පයක් තාච්චියකට එක්කර සුළු වේලාවක් බැදගන්න. ඊළඟට මේ මිශ්‍රණය සිසිල් වූවායින් පසුව සුළු ප්‍රමාණයක් ගෙනහිසේ ආලේප කරන්න. දැන් මේ ආලේපනය හිසකෙස් මුලටම ගමන් කරවීම සඳහා ඇඟිලි තුඩු භාවිතා කර හිස හොඳින් පිරි මදින්න. මේ ආලේපනය සතියකට වාර තුනක් හෝ හතරක් ස්නානය කිරීමට පෙර හිසේ ආලේප කරන්න. මේ සත්කාර ක්‍රමය මගිනුත් ඔබට පුළුවන් ලෙහෙසියෙන්ම හිසකෙස් වැටීයාම වළක්වා තට්ටය පෑදීම නතර කර ගන්න.

04. මරතොන්ඩි කොළ “Henna Leaves”
අපේ අසල්වැසි රටක් වෙන ඉන්දියාවේ වසර ගණනාවක සිට මේ මරතොන්ඩි පත්‍ර හිසකෙස් වැටී යාම වළක්වා ගන්නත් හිසකෙස් වලට වර්ණයක් සහ දීප්තියක් ලබා ගන්නත් භාවිතා කර තිබෙනවා. අබ තෙල් ස්වල්පයක් සමග මරතොන්ඩි පත්‍ර කිහිපයක් හොඳින් රත්කරගන්න. ඊළඟට මේ මිශ්‍රණය සිසිල් වීමට ඉඩ හැර ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන තෙල් වර්ගයක්සමග හොදින් මිශ්‍ර කරන්න. ඔබ මේ රත්කරගත් මිශ්‍රණය පොල්තෙල් සමග මිශ්‍ර කරගන්නවානම් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නට පුළුවන්. මේ ආකාරයට අවසාන වශයෙන් ඔබ සකස් කරගත් මිශ්‍රණය සතියකට වාර දෙකක් හෝ තුනක් හිසේ ආලේප කර තට්ටය පෑදීම වළක්වා ගන්න.

05. මුදවාපු මී කිරි සහ කඩල පිටි ආලේපනය
කඩල පිටි මේස හැඳි දෙකකට නැවුම් තත්වයේ ඇති මුදවාපු මී කිරි මේස හැඳි දෙකක් හෝ තුනක් එකතු කරමෘදු ආලේපනයක් සකස් කරගන්න. මේ ආලේපනය හිසෙහි සමේ සහ හිසකෙස් පුරාවටම ආලේප කර පැයක පමණ කාලයක් සිට හිස හොඳින් සෝදාගන්න. හිසකෙස් වැටීමත් තට්ටය පෑදීමත් වළක්වාගන්න නම් මේ සත්කාරය දිනකට වාර තුන බැගින් සිදු කරන්න.

06. මීපැණි සහ ඔලිවු තෙල් මිශ්‍රණය
මීපැණි තේ හැඳි දෙකක් ගෙන එයට ඔලිව් තෙල් මේස හැඳි දෙකක් සමග හොඳින් මිශ්‍ර කර මිශ්‍රණයක් සකස්කරන්න. දැන් කුරුඳු කුඩු තේ හැන්ඳක් ගෙන මේ මිශ්‍රණයටම එකතු කරන්න. ඔබේ හිසකෙස් වැටී තට්ටය පෑදී තිබෙන ස්ථාන වල මේ මිශ්‍රණය ආලේප කර විනාඩි පහළොවක කාලයක් තබා හිස හොදින් සෝදන්න. ඔබ මේ සත්කාර ක්‍රමය සතියකට වාර දෙක බැගින් මාස තුනක් හෝ හතරක් සිදු කරන්න. එවිට ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කර ගන්නට පුළුවන්.

07. ළුණු සත්කාරය
ළුණු කියනෙත් තට්ටය පෑදීම වළක්වා ගැනීමට භාවිතා කල හැකි තවත් ඵලදායී ඖෂධයක්. ලොකු ළුණුගෙඩියක් ගෙන දෙකට කපා ළුණුබෑයේ ඇතුල් පැත්ත තට්ටය පෑදී ඇති ස්ථානයේ උදෑසන සහ සන්ද්‍යා කාලයේදී හොඳින්අතුල්ලන්න. මේ ස්ථානය ඇතිල්ලීමේ දී රතු පැහැ වන තෙක් හොඳින් අතුල්ලන්න.ඊළඟට මේ ස්ථානයේ මීපැණි ස්වල්පයක් ආලේප කරන්න. මේ සත්කාර ක්‍රමය දිනපතා සිදු කරන්න

08. නෙල්ලි
වියළි නෙල්ලි කැබලි කිහිපයක් පොල්තෙල්වලට එක්කර රත් කරන්න. මෙම මිශ්‍රණය සිසිල් වීමට ඉඩ හැර වාතය ඇතුළු නොවන බෝතලයකට මාරු කරන්න. දිනපතා මෙම තෙල ඔබේ හිසේ ආලේප කර විනාඩි පහළොවක කාලයක් තබා ස්නානය කරන්න. මෙම සත්කාර ක්‍රමය මගින් ඔබේ හිසකෙස් ඉක්මණින් වර්ධනය වෙව්.

09. සලාද කොළ සහ නිවිති
සලාද කොළ සහ නිවිතිත් තට්ටය පැදීම වළක්වා ගැනීම සඳහා භාවිතා කරන්නට පුළුවන්. සලාද කොළ සහ නිවිති ඇඹරුම් යන්ත්‍රයකට එක්කර මෘදු ආලේපනයක් සකස් කර ගන්න. මෙම මිශ්‍රණයෙන් ලබාගත් යුෂ රැගෙන හිසේ හිස කෙස් නොමැති ස්ථාන වල ආලේප කරන්න. සුළු වේලාවකින් පසුව හිස සෝදා පිරිසිදු කරන්න. සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීම සඳහා සතියකට වාර හතරක් මෙම සත්කාරය සිදු කරන්න. මෙම යුෂ ලීටර භාගයක් දිනපතා පානය කිරීම මගිනුත් ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කර ගන්නට පුළුවන්.

10. නෙල්ලි සහ දෙහි යුෂ
නැවුම් දෙහි යුෂ සහ නෙල්ලි යුෂ සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන මිශ්‍ර කර ෂැම්පු ආලේප කරන ආකාරයට හිසෙහි ආලේප කරන්න. සුළු වෙලාවක් සිට මෙම මිශ්‍රණය සෝදා ඉවත් කරන්න. මෙම ක්‍රමයත් හිසකෙස් නැවත වර්ධනය කර ගැනීමට සිදු කල හැකි සාර්ථකම ක්‍රමවේදයක් වේවි.

11. ලෙමන් ඇට සහ ගම්මිරිස් ඇට
ගම්මිරිස් ඇට දහයක් සහ ලෙමන් ඇට දහයක් ගෙන කුඩු කරන්න. මෙම ඇට වර්ග දෙක කුඩු කර සකස් කර ගත් පවුඩරයට ජලය සුළු ප්‍රමාණයක් එක්කර දිනකට දෙවරක් තට්ටය පෑදී ඇති ස්ථානයේ ආලේප කරන්න. සති කිහිපයක් මෙම සත්කාර ක්‍රමය අනුගමනය කරන්න. එවිට හිසකෙස් වර්ධනය සඳහා අවශ්‍ය වන රුධිර සංසරණය වේගවත් වේවි.

12. “Saffron” සහ “Licorice” පවුඩර්
“Licorice” පවුඩර් මේස හැඳි දෙකක් සහ “Saffron” ස්වල්පයක් එක්කර එයට ඇල් කිරි මේස හැඳි හතරක්ද එක්කර මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය හිසේ ආලේප කර රැයක් පහන් වන තුරු තබන්න. පසුදා උදෑසන හිස සෝදා දමන්න. සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට නම් මේ ආකාරයට සතියකට වාර තුනක් හෝ හතරක් මෙම සත්කාරය සිදු කරන්න.

13. පේර පත්‍ර
පේර පත්‍ර කිහිපයක් ගෙන ජලය ලීටරයකට එක්කර ජලය අඳුරු පැහැ වන තුරුතම්බා ගන්න. ඉන් පසුව මෙම ජලය සිසිල් කර ගෙන සතියට වාර දෙකක් හෝ තුනක් හිසෙහි ආලේප කර හොඳින් සම්භාහනය කරන්න.

14. රෝස්මරී සහ “sage” තෙල්
රෝස්මරී සහ “sage” තෙල් පොල් තෙල් වලට හෝ පොල් කිරි වලට එක්කර මිශ්‍රණයක් සකසා අවශ්‍ය ස්ථානයේ ආලේප කරන්න. විනාඩි 15-20 ත් අතර කාලයක් තබා මෙය සෝදා ඉවත් කරන්න. මෙම සත්කාර ක්‍රමය දිනකට හතර වතාව බැගින් සති කිහිපයක් සිදු කරන්න. ඔබේ තට්ටය පෑදීම දුරුවී යාවි.

15. බිත්තර
අමු බිත්තරයක් ගෙන එය ගසා ගන්න. හිසේ හොඳින් ආලේප කරන්න. මේ ආකාරයට අවම වශයෙන් සතියකට වාර එකක් හෝ තුනක් සිදු කරන්න. ඔබ මෙම බිත්තරයට ඔලිව් තෙල් ස්වල්පයක් එක් කරනවානම් සාර්ථක ප්‍රතිඵල අත් වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *